සති අන්තයෙ මැරතන් එකෙන් පසු ලියන්න දේවල් ගොඩක් හිතේ තිබුනට, ඔන්න දැන් තමයි එයට විවේකයක් ලැබුනෙ. (විභාග වලට පාඩම් කරන අතරෙ දවස් දෙකක් තිස්‌සෙ මේක ලිව්වෙ.) සති කීපයක ඉඳන් නොසන්සුන් ගතියක් තිබුනා, ඒ වගේම වෙහෙසත් වැඩී. මැරතනය නිසා එක දවසකට හෝ හිතේ තිබුන අසහනය ටිකක් මැකිල ගියා. ඉතින් මුලින් ම කියන්න ඕන, එය සංවිධානය කරන්න තමන්ගෙ කාලය කැප කරලා ඒ වෙනුවෙන් මහන්සි වුන හැමෝටම තුති. විශේශයෙන් මතක් නොකරම බැහැ මේ අදහස ඉදිරිපත් කර එය සැබෑවක් කරන්න මුල ඉඳන්ම වෙහෙසුන ආනන්දවර්ධන සොයුරාත්, තාක්‌ෂනික පැත්තෙන් විශාල මෙහෙවරක් කළ කාලිංග, බුද්ධික, සහ මලින්ත සොයුරන්වත්.
මම නම් මැරතන් ලිපි කියවන්න පටන් ගත්තා පමණයි, ඒක එහෙමම නැවත්තුවා... එදා ඒ මහා ගංගාවක් වගේ බ්ලොගවකාශය වෙත ගලාගෙන ගිය අදහස්, නිර්මාන, සහ කරුණු රැගත් සටහන් තොගය කියවන්නට ගත්තොත් මම පාඩම් වැඩ නොකර එයම කරන්නට පෙලඹෙන බව දන්න නිසා. ඉතින් ඒ ආසාව ටිකකට කල් දැම්මා. ලබන සතියෙ විභාග ඉවර වුන සැනින් ඒ සියල්ල කියවා අදහස් දක්‌වන්නයි බලාපොරොත්තුව. එදාට ලියන්නම් මේ ගැන තව දුරට.
හරි, දැන් ලෙඩ ගැන..
1. Writer's Block
මම ඉතින් මතක ඇති කාලෙක ඉඳන් ඇවිදින්න ආසයි නෙ, ඉතින් ඇවිදින ගමන් වැඩේ දාහක් දේවල් කල්පනා කරන එක. මේ දවස් වල හැබැයි ඒකත් මට වද දෙන කරුණක් වෙලා. මොකද එළියට ගියාම, එහෙ මෙහෙ අවිදිනවිට, පැය ගනන් බස් වල යනවිට එහෙම ලියන්න අදහස් ගලාගෙන එනවා, සමහර වෙලාවට කවි හිටන් ගැලපෙනවා. ඒත් කාමරේට ඇවිත් පරිගනකය ඉස්‌සරහ ඉඳගත්ත ගමන් ඒ ඔක්‌කොම කොහෙ යනවද මන්දා! ලියන්න ගියාම හිර වෙනවා. මාර ලෙඩක් තමයි. හිතන දේවල් එවෙලෙම කොහෙ හරි save වෙන විදිහක් තිබුනා නම් අගෙයි කියලා හිතෙන්නෙ ඔන්න ඔය වගේ වෙලාවට තමයි. එහෙම වුනානම් ඒ සිතුවිලි හැම එකක්‌ම පස්‌සෙ හරියට සකසලා පල කරන්න පුළුවනි නෙ. ඔන්න වටිනා කියන මෘදුකාංගයකට අදහසක්: 'brain to screen transfer' තොරතුරු තාක්‍ෂනය හදාරන අයට යෝජනාවක්.
2. "sweet" වැඩි කම..
ලොකුම ලෙඩේ. පැණි රස කෑම ජාති ගැන නෙමෙයි කියන්න යන්නෙ. ලඟකදි කීප වතාවක් ම බැනුම් අහගන්න වුන හේතුව ගැන. මම දන්න නොදන්න කාටත් 'sweet' වැඩී ලු. චෝදනාව එල්ල වුනෙ මගෙ සමීපත ම මිතුරෙක්‌ගෙන්. ඒක අහපු වෙලේ නම් ගොඩක් දුක හිතුනා, මොකද, ඒ කිව්වෙ නෝක්‌කඩුවක් හැටියට.
ඕනම කෙනෙක් සමග සුහද ව, හිතවත් ලෙස කතා බහ කරන එක පුංචි කාලෙ ඉඳන්ම පුරුදු වුන දෙයක්. අවුරුදු ගානක් තිස්‌සෙ හඳුනන කෙනෙක්‌ට වුනත්, පලමු වරට මුනගැහුන කෙනෙක්‌ට වුනත්, කොයි කාටත් මනුස්‌ස කමට වචනයක් දෙකක් කතා කරන්න, ලෝබ නැතිව මුහුණ බලලා හිනා වෙන්න ආඩම්බර වෙන්න ඕන නැහැ කියලයි මම මෙච්චර කල් නම් හිතන් හිටියෙ. මානය ඉහ වහ ගිය, තිස්‌සෙම බොරු ශෝබන පෙන්වන, පොළොවට අඩි ගානක් උඩින් ඉන්න හදන ඇතැමුන් නොයෙකුත් දැකලා ඇති. ඒත් මට නම් හිතෙන්නෙ ඒක හරිම වෙහෙසකර වැඩක්. ඊට වැඩිය කොච්චර ලේසි ද, අපි හැමෝම මේ මහ පොළොවෙ පය ගහලා ජීවත් වෙන මිනිස්‌සුනෙ කියලා හිතලා ඕනම කෙනෙක් එක්‌ක මිත්‍රශීලීව ඉන්න එක? මවාගත් අහංකාරකම් පෙන්වන්න යන මහන්සියත් නැහැ එතකොට. ඒත් ඉතින් ඔය මට හිතෙන හැටි. නමුත් එක එක්‌කෙනා හිතන විදිහ වෙනස් නෙ.
මේ කියන්නෙ මම හරි හොඳයි කියලා නම් නෙමෙයි. වෙලාවකට මමත් ආඩම්බරයි. සමහර මිනිස්‌සුන්ව එච්චරම රුස්‌සන්නෙ නැහැ, ඒක ඉතින් මිනිස් සොභාවය නෙ, කොච්චර හිතුවත් 100% හැමෝටම එකම විදිහට සලකන්න අමාරුයි. ඒත් මට මේ කතාව අහගන්න වුනෙත් මම (මට හිතෙන හැටියට) කෙනෙක් එක්‌ක ටිකක් ඕනෑවට එපාවට වගේ, වැඩිය ගනන් නොගෙන වගේ කතා කළ වෙලාවක, ඒක දැකලා.
කරුණාව දයාව වගේ මිනිස් ගුණ අද සමාජයෙ බොහෝ දෙනාගෙ හිත් වලින් ඈත් වෙලා නම් දැන් ටික කලක් වෙන බව මම දන්නවා. ඒත් තමන් එක්‌ක කතා කරන්න එන කෙනෙක් එක්‌ක හිතේ කිලිටක් නැතිව වචනයක් හුවමාරු කරගන්න එකත් වැරදි විදිහට දකින්න පුරුදු වුනේ කවදද අපි?
අනිත් දේ තමයි (ඔන්න මෙතනදි තමයි ලෙඩේ දරුණුම වෙන්නෙ) මට මගෙ හිතවතුන් දුකෙන් ඉන්නවා දකින්නම බැහැ (මහා භයානක ලෙඩක් - දුක කියන දේ කාටත් පොදුයි කියලා දැන දැනත් එහෙම හිතන එක!) ඉතින් හැම විටෙකම කෙනෙක් දුකෙන් ඉන්නවා දකිනවිට හිත නම් කියන්නෙ හොයලා බලලා වචනෙකින් හරි පුළුවන් නම් උදව්වක් වෙන්න කියලයි. ඒ වුනාට සමහරුන්ට මේකත් වැරදී. සිත් තැවුලෙන් ඉන්න අයට පාඩුවෙ ඉන්න දීලා තමන්ගෙ වැඩක් බලා ගන්න ලු. එහෙම කියනකොට ඉතින් මං කියල මොනවා කරන්නද? දෙතුන්දෙනෙක්‌ගෙන් ම ඔය විදිහෙ ඇනුම් පද අහගත්තට පස්‌සෙ ඔන්න ඉතින් මමත් මගෙ හිතට එරෙහිව වුනත් පැත්තකට වුනා. එක අතකට ඒ අය කියන දේ හරිත් ඇති. මොකටද ඕනවට වඩා හොඳ කරන්න ගිහින් කාටවත් කරදරයක් වෙන්නෙ?
ඉතින් දැන් ටිකක් ඇඹුල් වෙන්න කියලා කල්පනා කළේ. කරන හැටි තමයි තාම නොදන්නෙ. sweet අඩු කරන්න විදිහක් ඔබ දන්නවානම්, මාව ඇසුරු කරන කොයි කාගෙත් සෙත පිනිස, කරුණාකර මට ඉක්‌මනින් ම දන්වන්න. නැතිනම් මාව දන්න අඳුනන හැමෝටම දිය වැඩියාව හැදෙයි අන්තිමේ, පැණි රස වැඩි වෙලා! (හික්!)
තමන් ලඟින්ම ආස්‍රය කරන අය වත් තමන්ව හරි හැටි තේරුම් ගන්නෙ නැහැ කියල හිතෙනකොට ඕනම කෙනෙක්‌ට දුකක් වේදනාවක් ඇති වෙනවා.. ඒත් හිත කියන්නෙ තේරුම් ගන්න එතරම් ලේසි දේකුත් නෙමෙයි නෙ, ඉතින් කොහොමද වෙනත් විදිහෙ සිතුම් රටාවන්ගෙන් හැඩගැහුණු සිතක් තව හිතක් හරියටම සියයට සියයක් තේරුම් ගනී කියලා අපේක්‍ෂා කරන්නෙ? එහෙම හිතලා හිත හදා ගත්තත්, මට දැන් මම කියන කරන දේවල් ම සැකයි..
හිතුවට වඩා ගොඩක් දිගට ලියැවුනා.. කියවන අයට හිතෙනවද දන්නෙ නැහැ විකාරයක් කියලා.. දැනට මේ ඇති.

